පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් සඳහා රාජ්‍ය ආයතන විසින් එකතු කරනු ලබන දත්ත වර්තමාන සහ අනාගත අවශ්‍යතා සඳහා සංරක්ෂණය කිරීමේ කේන්ද්‍රස්ථානයක් පිහිටුවිය යුතු බවට ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා යෝජනා කර තිබේ.
හෙතෙම මෙලෙස යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමයේ (Planning Service Association)) නියෝජිතයන් සමග අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකදීය.
සංවර්ධනය යන්න යටිතල පහසුකම් සංවර්ධනයට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට විහිදුණු ජනතා සහභාගීත්වය සහිත පුළුල් සංවර්ධන ක්‍රියාදාමයක් දක්වා ගමන් කළ යුතුව ඇති බව එහිදී පෙන්වා දී ඇති බැසිල් රාජපක්ෂ මහතා, එහිදී විවිධ රාජ්‍ය ආයතන විසින් එකතු කරන දත්ත විශ්ලේෂණයකොට සැලසුම් සකස් කිරීම සිදුකළ යුතු බවද ප්‍රකාශ කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවා සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙළට දායකත්වය ලබාදීමට කැමැත්තෙන් පසුවන බව ප්‍රකාශ කර, ඒ සඳහා ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය බැසිල් රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබිණි.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා දැනුම් දී ඇත්තේ සමස්ත රාජ්‍ය සේවය පිළිබඳ අවධානය යොමුකර එම ව්‍යුහාත්මක හා පරිපාලනමය වෙනස්කම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන බවයි.
එසේම රටේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ශ්‍රම බළකාය කළමනාකරණය කළ යුතු බවත්, එහිදී මෙරට අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුවට අදාළ සැලසුම් සකස් කිරීමේදී ශ්‍රම බළකාය අරමුණු කරගත යුතු බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දී තිබේ.